ලංකාතිලක විහාරය - 10 ශ්‍රේණිය - චිත්‍ර කලාව

 ලංකාතිලක විහාරය


■ ගම්පොළ යුගයේ ඉදිවූ ලංකාතිලක විහාරය පැන්හල්ගල නම් වූ ගල්තලාවක් මත ඉදිකර ඇත.

■ 4 වන බුවනෙකබාහු රජ කාලයට (ක්‍රි. ව. 1341 - 1351) අයත් මෙම ගොඩනැගිල්ල සේනාධිලංකාර අමාත්‍යවරයාගේ උපදෙස් මත නිර්මාණය කරන ලද්දකි.

■   ලංකාතිලක විහාරයේ නිර්මාණ ශිල්පියා වන්නේ ඉන්දියාවේ ස්ථපතිරායර් නම් ශිල්පියා යි.

වාස්තු විද්‍යා නිර්මාණ - ලංකාතිලක විහාරය

මෙම ගෘහ නිර්මාණය සඳහා ගඩොල් සහ හුණු බදාම යොදාගෙන ඇති අතර අතීතයේ දී එය මහල් 4කින් යුක්ත විය.

පිටත බිත්තියේ නිර්මාණය කරන ලද ඇත් රූප හා පැන්නුම් කුලුනු විහාරයට අලංකාරයක් ගෙන දෙන වාස්තු විද්‍යාත්මක අංග වේ.

ප්‍රතිමා ගෘහයට සම්බන්ධ කර සතර දිසාවේ සමන්, විභීෂණ, උපුල්වන් කතරගම හා ගණදෙවියන් උදෙසා සාදන ලද දේවාල පහක් (05) හා ඒවායේ දේව ප්‍රතිමා දක්නට ලැබේ.

බුද්ධ ප්‍රතිමා

■ ප්‍රතිමා ගෘහයේ ඇති හිඳි බුද්ධ ප්‍රතිමාවේ දෙනෙත් විවෘත ව මෙන් ම, චීවරයේ රැළි තරංගාකාරව යොදමින් බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ සමුදායට වඩා බාහිර ලක්ෂණ පෙන්වීමට ශිල්පියා උත්සාහ  ගෙන ඇත. එසේ ම ප්‍රතිමාවේ සෘජු දැඩි ප්‍රකාශනයක් පිළිබිඹු කරයි.

■ වීරාසන ක්‍රමයට වැඩහිඳින බුදු පිළිමයෙහි ධ්‍යාන මුද්‍රාව මෙන් ම ඌෂ්ණිෂය මත සිරස්පත නිර්මාණය කර තිබීම  දැකිය හැකි ය.

■ මල්කමින් හා ලියකමින් සරසන ලද මකර තොරණක් වර්ණවත් ප්‍රතිමාවට පිටුපසින් නිර්මාණය කර ඇත.



සිතුවම්

■ මහනුවර යුගයේ සිතුවම් සම්ප්‍රදායට නෑකම් කියන ලංකාතිලක විහාර සිතුවම් අතර සූවිසි විවරණය, සොළොස්මස්ථානය, සත් සතිය ආදී සිතුවම් වැදගත් ස්ථානයක් ගනියි. එසේ ම කීර්ති ශ්‍රී රාජසිංහ රජු හා සේනාධිලංකාර අමාත්‍ය රූ චිත්‍රණය කර තිබිම දැකිය හැකි ය.

 ■ පාරම්පරික සැරසිලි මෝස්තර අතර මෙහි වියන්තලයේ නිර්මාණය කර ඇති සිව් හංස පූට්ටුව මෙන් ම අලංකාර වූ ලියවැල් මෝස්තර විශිෂ්ට නිර්මාණ වශයෙන් සැලකේ.











■   පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. ලංකාතිලක විහාරයේ දැකිය හැකි වාස්තු විද්‍යා අංග, චිත්‍ර හා මූර්ති නම් කරන්න.

2. ලංකාතිලක විහාරයේ ඓතිහාසික පසුබිම කෙටියෙන් පැහැදිලි කරන්න.
        - යුගය/ කාලය    - අනුග්‍රහය          - ශිල්පියා

3. වාස්තු විද්‍යා නිර්මාණවල කලාත්මක ශෛලිය සඳහා පදනම් වූ පහත අංග විස්තර කරන්න.
    - සම්ප්‍රදාය         
- වාස්තු විද්‍යාත්මක ප්‍රවේශ/සැලසුම්/ ආකෘති         
- මාධ්‍ය හා ශිල්ප ක්‍රම

4. ලංකාතිලක විහාරයේ බුදු පිළිමය පිළිබඳ පහත කරුණු ඇසුරින් කලාත්මක ඇගයීමක්  කරන්න. 
- මුද්‍රා   - ආසන ක්‍රමය  - සිවුර   - මුහුණේ ප්‍රකාශනය
5. ලංකාතිලක විහාර සිතුවම් අතර දක්නට ලැබෙන සිතුවම් නම් කරමින් ඒවා පිළිබඳ පහත කරුණු යටතේ ඇගයීමක්  කරන්න.
- ශෛලිය     - ශිල්ප ක්‍රමය        - වර්ණ භාවිතය        - රේඛාකරණය




ගඩලාදෙණිය විහාරය 10 ශ්‍රේණිය චිත්‍ර කලාව


ගඩලාදෙණිය විහාරය




■ සද්ධර්මතිලක විහාරය හෙවත් ගඩලාදෙණි විහාරය ගම්පොළ යුගයට අයත් නිර්මාණයකි.

■   ක්‍රි. ව. 1341-1351 කාලයට අයත් ගම්පොළ යුගයේ රජ කළ සතරවන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය කාලයේදී ධර්මකිර්තී හිමියන්ගේ අනුශාසනාව පරිදි හා සේනාධිලංකාර ඇමැතිගේ මූලිකත්වයෙන් මෙම විහාර නිර්මාණ කටයුතු සිදු කර ඇත.

■ මෙම විහාරයේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන ලද්දේ දකුණු ඉන්දීය ශිල්පියකු වන ගණේෂ්වරාචාර්ය හා ඔහුගේ අනුගාමික ශිල්පීන් ය.


■ මෙම සුවිශේෂී ගොඩනැගිල්ල තනි කළුගලෙන් නිමවා ඇති අතර, මණ්ඩපය, අන්තරාලය හා ගර්භගෘහය යන ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ.

■ ගඩලාදෙණි විහාරයේ මණ්ඩපය තනි කළුගලින් නිමවා ඇත. මෙහි පියස්ස පැතලි ය. පාදමෙහි නටන්නන්ගේ සහ වයන්නන්ගේ රූප පෙළක් කැටයම් කර ඇති අතර එම රූප ජීවශක්තියෙන් සහ චලනයන්ගෙන් යුක්ත ය.

■ සිවුරුස්, අටැස් කොටස් වලින් යුතු  ව දොරටුව ඉදිරිපස දෙකළවර ඇති තුන් ඇඳුතු ගල් කුළුණු හා දාගැබක හැඩය ඇති “ගෙඩිගෙය” නම් වූ වෘත්තාකාර ශිඛරයක් සහිත පියස්සකින් සමන්විත මෙම බෞද්ධ විහාරය, දකුණු ඉන්දීය විජයනගර් ගෘහ නිර්මාණ කලා ලක්ෂණ පෙන්වයි





මෙම කුලුනු පාදමෙහි හිස ඔසවා ගත් සිංහ රුවක් නිර්මාණය කර ඇති අතර කුලුනු මුදුනෙහි තවත් සිංහ රූපයක් ද බඳේ පනේලය තුළ වෘෂභයකු පිට නැග ගත් මිනිස් රුවක් හා මාළුවකු පිට නැග ගත් මිනිස් රුවකි. විශාල කුලුනකට කුඩා කුලුනු සම්බන්ධ කිරීම සඳහා ගල්පටියක් භාවිතා කිරීම මෙහි දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි.


විජයොත්පාය


■   විජයොත්පාය නමින් හඳුන්වන අඩි 12 ක් පමණ උස අඩිතාලමක් මත හිඳි බුද්ධ ප්‍රතිමා සතරක් තැන්පත් කර ගලින් නිම වූ ප්‍රතිමා ගෘහ 04ක් විහාරය ඉදිරිපිට ගල්තලාව මත දැකිය හැකි ය.

■    මෙම ගෘහ නිර්මාණ අංගයේ දිසා අටකට මුහුණලා ඇත් රූප 08ක් කැටයම් කර ඇත. ගොඩනැගිල්ල මධ්‍යයෙහි අඩි 40 ක් පමණ උසට නිර්මාණය කර ඇති ස්තූපය පියස්සකින් ආවරණය වේ.

■   ස්තූපය වටා ඇති කුඩා පරිවාර චෛත්‍ය සතරකි. ඒවා ප්‍රතිමා ගෘහයන් හතරෙහි පියස්ස මත ගොඩ නගා ඇත.






■ ගර්භ ගෘහය තුළ හිඳි බුදු පිළිමයක් සහ හිටි පිළිම සතරක් දක්නට ලැබෙන අතර මෙම ප්‍රතිමා මහනුවර යුගයේ දක්නට ලැබෙන ප්‍රතිමා ලක්ෂණ පිළිබිඹු කරයි.

■ මෙම බුදු පිළිම විවෘත දෙනෙත්, තරංගාකාර රැළි සහිත චීවරය පෙන්නුම් කෙරෙන අතර බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ සමුදායට වඩා බාහිර ලක්ෂණ පෙන්වීමට ශිල්පියා උත්සාහ ගෙන ඇත.

■ වර්ණ ගන්වන ලද හිඳි බුදු පිළිමයට පිටුපසින් අලංකාර මකර තොරණකි.

■ වීරාසන ක්‍රමයට වැඩහිඳින හා ධ්‍යාන මුද්‍රාවෙන් යුතු මෙම බුදු පිළිමය හිස මත සිරස්පත දක්වා තිබීම ද විශේෂ ලක්ෂණයක් වේ.



■   පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. ගඩලාදෙණිය විහාරයේ දැකිය හැකි වාස්තු විද්‍යා අංග හා මූර්ති නම් කරන්න.

2. ගඩලාදෙණි විහාරයේ ඓතිහාසික පසුබිම කෙටියෙන් පැහැදිලි කරන්න.
යුගය /කාලය/ අනුග්‍රහක රජු/ ශිල්පියා/ අනුශාසක/ මූලිකත්වය

3. ගඩලාදෙණිය විහාරය හඳුන්වන වෙනත් නමක් සඳහන් කරන්න.

4. වාස්තු විද්‍යා නිර්මාණවල කලාත්මක ශෛලිය සඳහා පදනම් වූ පහත අංග විස්තර කරන්න.
- සම්ප්‍රදාය
- වාස්තු විද්‍යාත්මක ප්‍රවේශ/සැලසුම්/ ආකෘති
- මාධ්‍ය හා ශිල්ප ක්‍රම
5. ගඩලාදෙණි විහාරයේ බුදු පිළිමය පිළිබඳ පහත කරුණු ඇසුරින් කලාත්මක ඇගයීමක් කරන්න.
- මුද්‍රා
- ආසන ක්‍රමය
- සිවුර
මුහුණේ ප්‍රකාශනය