පුනරුද යුගයේ (Renaissance Period) බිහිවූ ශ්‍රේෂ්ටතම චිත්‍ර ශිල්පියකු ලෙස ලියනාඩෝ ඩාවින්චි (for Grade 10 - Art Students)




■ පුනරුද යුගයේ (Renaissance Period) බිහිවූ ශ්‍රේෂ්ටතම චිත්‍ර ශිල්පියකු ලෙස ලියනාඩෝ  ඩාවින්චි හැඳින්විය හැකි ය. වර්ෂ 1452 වින්සි (Vinci) නුවර උපත ලද මොහු වෙරකියෝ චිත්‍ර ශිල්පියා යටතේ ශිල්ප හැදෑරූ අතර චිත්‍ර ශිල්පයට පමණක් නොව 
  • ගණිතය, 
  • විද්‍යාව, 
  • ඉංජිනේරු ශිල්පය, 
  • සංගීතය, 
  • ගෘහ නිර්මාණ ශිල්පය මෙන් ම 
  • සැලසුම් ශිල්පයට ද දස්කම් දක්වා ඇත. 

■ ඔහුගේ නිර්මාණ සඳහා ග්‍රීක රෝම කලා නිර්මාණවල මූලික කලා ලක්ෂණ හා විද්‍යාත්මක නව සෞන්දර්ය ප්‍රවේශ පදනම් වී ඇත.

ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම් කිහිපයක් 
පහතින් දැක්වේ.

1. පර්වත මස්තකයේ දේව මෑණියෝ (Vergin of the rocks)
2. අවසන් භෝජන සංග්‍රහය (The Last Supper)
3. මොනාලිසා (Monalisa)


1. පර්වත මස්තකයේ දේව මෑණියෝ (Vergin of the rocks)


■ ලන්ඩන් ජාතික කලාගාරයේ ප්‍රදර්ශනය කර ඇති මෙම සිතුවම වර්ෂ 1483 - 1500 කාලය තුළ නිර්මාණය කරන ලද්දකි.

■ පර්වත මස්තකයේ දේව මෑණියෝ සිතුවමෙන් දැක්වෙන්නේ මරියතුමිය අසලින් සිටින ජේසු බිළිඳා සහ ශාන්ත ජොන් බැප්ටිස් සමඟ සුරදූතියකි.

■ ත්‍රිකෝණාකාර ආකෘතියක් මත රූප සම්පිණ්ඩනය කර ඇති මෙම සිතුවම කැන්වසය මත තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මාණය කර ඇත.

■මෙම නිර්මාණයේ දේවමෑණියන්ගේ මුහුණෙන් දැක්වෙන කරුණාභරිත බවත්, දරුවන්ගේ මොලකැටි බව මෙන් ම හැඟීම් ප්‍රකාශනය පෙන්වීමට ශිල්පියා ගෙන ඇති උත්සාහය සාර්ථක වී ඇත.

■ සිතුවමෙහි පසුබිම පැළෑටි සහ විවිධ හැඩවලින් යුක්ත ගල්කුළු පෙන්වා ඇති අතර පර්යාලෝක ලක්ෂණ සහිතව ඈතට විහිදී ගිය භූමි දර්ශනයක් නිරූපිත ය.

■ අඳුර තුළින් ආලෝකය වඩාත් තීව්‍ර ලෙස මතු කිරීම පිළිබඳ ශිල්පියා සතුව තිබූ පරිණත බව මෙම සිතුවමින් නිරූපණය කෙරේ. මෙම වර්ණ ගැන්වීමේ සිද්ධාන්තය කියරොස්කූරො (Chiaroscuro) ලෙස හඳින්වේ. දුඹුරු වර්ණයේ විවිධ ප්‍රභේද සහිත අඳුරු වර්ණමාලාවක් යොදා ඇති අතර අඳුර තුළින් මරියතුමියගේ හා දරුවන්ගේ මුහුණු වඩාත් ආලෝකමත්ව මතු කර දක්වා ඇත.

2. අවසන් භෝජන සංග්‍රහය (The Last Supper)


■ ලියනාඩෝ ඩාවින්චි විසින් මිලානයේ ලුඩෝවිකෝ ඉල්මෝරෝ ආදිපාදවරයා යටතේ සේවය කරන කාලයේ ශාන්ත මරියා ඩෙලාග්‍රේසි නැමති ඩොමිනිකානු තාපසාරාමයේ භෝජනාගාර බිත්තියක් මත ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට නිර්මාණය කරන ලද්දකි.

■ අවකාශමය පර්යාලෝකය අනුව චිත්‍රණය කර ඇති මෙම සිතුවම මධ්‍යයේ ජේසුස්වහන්සේ දක්වා ඇති අතර, දෙපස අනුගාමිකයන් දොළොස් දෙනෙකි. ජුදාස් නැමති පාවාදෙන්නාගේ මුහුණෙහි ඇති කුතුහලය නිරුපණය කිරීම හැඟීම් ප්‍රකාශනය මැනැවින් දැක්වීමට ගත් උත්සාහයකි.

■ චිත්‍රය වර්ණ ගැන්වීමේ දී දුඹුරු වර්ණයේ විවිධ ප්‍රභේද සහිත අඳුරු වර්ණමාලාවක් ත්‍රිමාන හා පර්යාලෝක ලක්ෂණ සහිත ව යොදා ඇත.

■  කියරොස්කූරො (Chiaroscuro)  වර්ණ කිරීමේ සිද්ධාන්ත අනුව තලය මධ්‍යයයේ සිටින ජේසුස්වහස්සේ වඩාත් ආලෝකමත්ව මතු කර දක්වමින් සෙසු රූප අඳුරු වර්ණමාලාවකින් දක්වා ඇත.



3. මොනාලිසා (Monalisa)


■ ලියනාඩෝ ඩාවින්චිගේ විශිෂ්ට නිර්මාණයක් වන මොනාලිසා දැනට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

■ මෙම සිතුවම පොප්ලර් නැමති ලීයක තෙල් සායම් මාධ්‍යයෙන්  නිර්මාණය  කර ඇත.

■ ෆැන්සිස්කෝ ජියෝකොන්ඩා නැමති වෙළඳ ව්‍යාපාරිකයාගේ බිරිඳ වූ ලීසාගේ උඩුකය රුව (Portrait) ලෙස සැලකෙන මෙම සිතුවම පිළිබඳ වෙනත් මත ද පවතියි.

■ මෙම සිතුවමෙහි පසුබිම සඳහා යොදා ඇත්තේ පර්යාලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයකි.

■ මෙහි දී මුහුණට පපු පෙදෙසට, දෙ අත්වලට ත්‍රිකෝණාකාර සම්බන්ධතාව ගොඩනඟමින් යොදා ඇති ආලෝකය මෙන් ම මඳ සිනහව හා බැල්ම යනාදිය මෙම සිතුවමට ගෙන දෙන්නේ ආකර්ශනකි.