ග්‍රීක මූර්ති නිර්මාණ

ග්‍රීක මූර්ති නිර්මාණ

වීනස් දී මෙලෝ (Venus de Milo)


  

ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති වීනස් ඩි මෙලෝ ප්‍රතිමාව ග්‍රීක සම්භාව්‍ය යුගයට අයත් කලා ලක්ෂණ සහිත නිර්මාණයකි. දෙඅත් කැඩී බිඳී ඇති මෙම කිරිගරුඬ ප්‍රතිමාව, ක්‍රි. ව. 1820 දී මේලෝ දිවයිනෙන් සොයා ගත්තකි. වමතට ගත් කැඩපතින් සිය රූසපුව නරඹන කාන්තාවක නිරූපණය වන බව විචාරක අදහසයි. කාන්තාවකගේ සුන්දරත්වය මෙන් ම නාරිදේහයේ ලාලිත්‍ය ස්වභාවය මැනවින් දක්වා ඇති මෙම මූර්තිය ග්‍රීක මූර්ති නිර්මාණ අතර අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස සැලකෙයි. රූපයේ බඳ වටා ඇති වස්ත්‍රයේ රැළි කඩා හැලෙන අයුරු ඉතා ස්වභාවික ලෙස නිරුපණය කර පෙන්වයි. “ඇන්ටිසොව්” නම් ශිල්පියා මෙම මූර්තිය නිර්මාණය කර ඇත. 

කවපෙත්ත විසිකරන්නා (Discobolus)


                                              

කවපෙත්ත විසිකරන්නා මූර්තිය ග්‍රීක සම්භාව්‍ය යුගයට අයත් කලා ලක්ෂණයන් සහිත කෘතියකි. මෙම මූර්තියෙන් නිරූපණය වන්නේ කව පෙත්ත විසිකිරීමට සුදානම් වන ක්‍රීඩකයකුගේ ඉරියව්වකි. ක්‍රීඩා ඉරියව්වට අනුකූල ව පිරිමියකු සතු කායික ජවය, ශක්තිය, චලනය මෙන් ම සිරුරේ සමබරතාව හා රිද්මය ඉතා විශිෂ්ට ලෙස පෙන්නුම් කරන නිර්මාණයකි. මාංශ පේශී ක්‍රියාකාරත්වය සහිත ක්‍රීඩක ඉරියව්ව මැනවින් නිරූපණය කර ඇති මෙම මූර්තිය කිරිගරුඬ මාධ්‍යයෙන් නිර්මාණය කර ඇත. ක්‍රි. පූ. 450 ට පමණ අයත් කවපෙත්ත විසිකරන්නා මූර්තියෙහි මුල් කෘතිය ලෝකඩ මාධ්‍යයෙන් නිර්මාණය කර තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර එය මූර්ති ශිල්පි “මයිරන් ” (Myron) ගේ නිර්මාණයකි.


හර්මිස් සහ ඩයොනීසස් (Hermes and Dionysus)


 

ක්‍රි. පූ. 330-320 කාලයට අයත් මෙය ග්‍රීසියේ ඔලිම්පියාවෙන් හමු වූ පූර්ණ උන්නත විශිෂ්ට ග්‍රීක මූර්තියකි. ග්‍රීක සම්භාව්‍ය යුගයට අයත් කලා ලක්ෂණයන්ගෙන් යුතු මෙය ප්රැක්සිටෙල්ස් Praxiteles නැමති මූර්ති ශිල්පියා විසින් නිර්මාණය කරන ලද්දකි.  මෙම මූර්තිය අඩි 7 අඟල් 1 ක් උසින් යුක්ත වන අතර කිරි ගරුඬ මාධ්‍යයෙන් නිමවා ඇත. හර්මිස් තම දකුණු පාදයට බරදී වම් පාදය දණහිසින් නවා සිටින අතර ඔහු විසින් ඩයොනීසස් නම් දරුවා වමතින් වඩාගෙන සිටියි. හර්මීස්ගේ රුවෙහි දකුණු අත බිඳ ඇති අතර ඉතිරි වූ කොටසින් එය ඉහළට ඔසවා සිටි අයුරක් නිරූපණය වේ. එම අතෙහි මිදි පොකුරක් තිබෙන්නට ඇතැයි විචාරකයින් විශ්වාස කරයි.

 මෙම මූර්තියෙන් පුරුෂ ශරීරයක දැකිය හැකි මාංශ පේෂීවල ස්වභාවය හා පෞරුෂ ලක්ෂණ පරිමාණ ලක්ෂණ සහිතව මැනවින් පෙන්නුම් කර ඇත. වම් අතින් දරා සිටින ස`ඵව නිසා මූර්තියේ සමබරතාව සුරැකී ඇත. මෙහි දැක්වෙන ළදරුවාගේ රුවෙහි මුදු මොළොක් ස්වභාවය හා සුරතල් බව දැක්වීමට ශිල්පියා සමත් වී නැති බවක් පෙනී යයි.  මෙම මූර්තිය දැනට ග්‍රීසියේ ඔලිම්පියාහි පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.


ඇතීනා දෙවඟනගේ රුව (Athena Parthenon)

 

මෙම ප්‍රතිමාව ක්‍රි. පූ. 5 සියවසේ විසූ පීඩියස් Phidias නම් ශිල්පියා විසින් නිර්මාණය කර ඇත. සම්භාව්‍ය යුගයට අයත් මෙම ප්‍රතිමාව අඩි 48 ක් පමණ උසින් යුතු ය. දැවයෙන් නිමවා රනින් හා ඇත් දළින් ආවරණය කරන ලද ඇතීනා දෙවඟනගේ රුව විශිෂ්ට නිර්මාණයකි.

වම් අතින් හෙල්ලක් ද, පලිහක් ද දරයි. දකුණු අත්ලේ නයික් Nike හෙවත් ජයග්‍රහණය සංකේතවත් කරන ඉපැරණි ග්‍රීක දේවතාවියගේ රුවකි. පලිහ, පාදම, හිස් වැස්ම, පාවහන් සියල්ල ග්‍රීක පැරණි ජනප්‍රවාද දර්ශනවලින් අලංකාර කර ඇත. සිනිඳු ඇඳුමට අයත් රැළි සියුම් ලෙස මතු කිරීමට ශිල්පියා සමත් වී ඇත. ප්‍රතාපවත් බව, රණ ශූරත්වය, එඩිතර බව, සෘජු බව යන ලක්ෂණ සහිතව කාන්තා සුන්දරත්වය මෙම ඇතීනා රුවෙන් මනාව නිරූපණය කර පෙන්වයි.


ලැඔකූන් මූර්තිය Laocoon



ලැඔකූන් මූර්තිය ග්‍රීක හෙලනිස්තික් යුගයට අයත් කලා ලක්ෂණ සහිත නිර්මාණයක් ලෙස සැලකේ. මෙය කිරිගරුඬ මාධ්‍යයෙන් නිම කළ කලා කෘතියකි. දැවැන්ත මුහුදු සර්පයෙකුගෙන් බේරීම සඳහා පියෙකු හා පුතුන් දෙදෙනෙකු ගන්නා උත්සාහය මෙමඟින් නිරූපණය වෙයි.

පියාගේ මහලු බවත්, පුතුන්ගේ තාරුණ්‍යයත් මතුකොට දක්වා ඇති මෙම මූර්තියෙන් මහලු පියාගේ ධෛර්ය සම්පන්න බවත්, ශක්තියත්, සර්පයාගෙන් ගැළවීමට ගන්නා උත්සාහයත් මැනවින් නිරූපණය කොට ඇත. 

යථාර්ථවාදී ශෛලියට අනුගත ව මුහුණේ වේදනාව, භය, ත්‍රාසය හා උත්සාහවන්ත බව මැනවින් ප්‍රකාශිත ය. උස අඩි 8 ක් වන මෙම මූර්තිය දැනට රෝමයේ වතිකානු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

“ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නිර්මාණ අගයමු.”

“ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නිර්මාණ අගයමු.”



ඉන්දු නිම්න ශිෂ්ටාචාරය මෙසපොටේමියානු, මිසර වැනි පූර්ව ඓතිහාසික උසස් ශිෂ්ටාචාර හා සම තත්ත්වයේ ලා සැලකිය හැකි ය. පුරා විද්‍යාඥ ශ්‍රීමත් ජෝන් මාෂල්ගේ විශ්වාසය වූයේ මෙම ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 3250 - 2750 අතර කාල වකවානුවට අයත් බව ය. එම ශිෂ්ටාචාරයේ ස්වර්ණමය කාලය ක්‍රි. පූ. 2500 - 1500 අතර වශයෙන් ඉන්දියානු පුරා විද්‍යාඥයින් විසින් දක්වයි.


මෙම ශිෂ්ටාචාරය මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර වශයෙන් ද හඳුන්වනු ලබයි. හින්දි භාෂාවෙන් “මෙහොන් - ජො දාරෝ” යනු මළවුන්ගේ ගොඩැල්ලයි. එය වර්තමාන පකිස්ථානයට අයත් සින්ධිහි ලර්කානා දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. හරප්පාව වර්තමාන පකිස්ථානයේ බටහිර පන්ජාබ් ප්‍රදේශයේ මොන්ටිගෝමරී දිස්ත්‍රික්කයේ රවි නදී ඉවුරේ පිහිටා ඇත.


ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විශාල භූමි ප්‍රදේශයක පැතිරී පවතින අතර මෙම සභ්‍යත්වයට අයත් ස්ථාන 70 ක් පමණ සොයාගෙන ඇත. මොහෙන්ජො දාරෝ හා හරප්පා ශිෂ්ටාචාරයට අයත් නගර වැසියන් උසස් කලා කෞශලයෙන් යුක්ත ජන කොටසක් බව කැණීම්වලදී හමු වූ ද්‍රව්‍ය හා මෙවලම්වලින් පැහැදිලි වේ.

මෙම කලා නිර්මාණ පහත පරිදි හඳුනාගත හැකි ය.


- ගල් හා ලෝහ ප්‍රතිමා
- ආභරණ හා මෙවලම්
- මුද්‍රා
- සෙල්ලම් බඩු
- වාස්තු විද්‍යා නිර්මාණ


ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ මූර්ති
පූජක රුව





 

පූජක රුව සොයාගෙන ඇත්තේ මොහෙන්ජොදාරෝ නගරයෙනි. මෙයින් පුරුෂයකුගේ  උඩුකය දැක්වේ. ජීවමාන කෙනෙකු නිරූපණය කිරීමට ගත් උත්සාහයක් ලෙස පෙනේ. සෙ.මී. 19 ක් උස ය. සුදු හුණු ගලින් නිමවා ඇත. මෙයින් පූජකවරයකු නිරූපණය වන බව සාමාන්‍ය පිළිගැනීමයි. ඒකාංශ කරන ලද ස`ඵව, අඩවන් දෙනෙත් හා හිස අඩක් මුඩු කොට තීබීම මෙම රූපය භාවනානුයෝගී පූජක රුවක් ලෙස හැඳින්වීමට හේතු වී ඇත.

ඒකාංශ කරන ලද ස`ඵවෙහි පෙති තුනක මලක හෝ කොළයක හැඩය ගත් රටාවකින් සරසා ඇත. නළල මත ගාංචුව සහිත නලල් පටියකි. තත්ත්වාකාර නිරූපණ ස්වරූපයට වෙසසින් වෙනස් වූ ශෛලීගත සම්ප්‍රදායක් අනුව නිරූපණය කරන හැඩතල මෙහි දක්නට ඇත.



කලා විචාරකයින්ගේ සැලකිල්ල යොමු වූ නිර්මාණ අතර හරප්පාවෙන් හමු වූ ලෝකඩ නළඟනගේ රුව ද ප්‍රධාන තැනක් ගනියි. ඉන්දු නිම්න වැසියෝ ලෝහ වාත්තු කිරීමේ තාක්ෂණයෙන් පරිණතව සිටි බවට  මෙම ලෝහයෙන් කරන ලද නළඟන රුව හොඳ ම සාධකයකි.

ලෝහ වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමයෙන් පූර්ණ උන්නතව නිමවා ඇති මෙහි උස අඟල්  4  1/2 කි. කාන්තා නාරි දේහයේ ලාලිත්‍ය මනාව මතු කොට දක්වා ඇත. ඇස් අඩවන් ය. ප්‍රකෝපකාර ඉරියව්වකින්  සිට ගෙන එක් අතක් ඉනෙහි තබාගෙන එක් කකුලක් අඩක් නැමී සිටින ආකාරයෙන් නිමවා ඇත.

 කෙසඟ නග්න රුවක් වූ මෙම කාන්තා රුව කලාත්මක ය. ගෙල බැඳි මාලයත්, දෙඅත්හි ඇති වළලුත් මෙහි දැකිය හැකි ආභරණයන් ය. එය එකල ඉන්දු නිම්න වැසියන් ආභරණ පැළඳීම පිළිබඳ ප්‍රබල සාක්ෂියකි. මෙයින් දෙවොලක රඟන ස්ත්‍රියක් නිරූපණය වේ යැයි මතයකි. දැනට නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

රතු වැලි ගලින් කළ කවන්ධ මිනිස් රුව


 


මානව දේහයේ සුන්දරත්වය ඉතා සියුම් ලෙස හා මට සිලිටු ලෙස දක්වා ඇති කවන්ධ මිනිස් රුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ උසස් කලා කෘතියකි. ග්‍රීක සම්භාව්‍ය කෘතිවල මූර්තිමය ලක්ෂණ දක්නට ඇත. මූර්තිය මනාව ඔපමට්ටම් කිරීමෙන් මස් පිඬුවල ස්වභාවිකත්වය පෙන්නුම් කර ඇත.

අඟල් 4 (සෙ.මී.10) පමණ උස ය. රතු පැහැති හුණු ගලින් නිමවා ඇති මෙය පූර්ණ උන්නත මූර්තියකි. මෙය සොයා ගෙන ඇත්තේ හරප්පාවෙනි. මෙම මූර්තියෙන් අරෝහ පරිනාහ පුරුෂයකුගේ ලක්ෂණ නිරූපණය කරයි. නග්න රුවක් වන මෙය ශිවගේ මූලාදර්ශ නිර්මාණයක් වශයෙන් හඳුන්වයි. ඊට හේතු වශයෙන් මූර්තියේ අත් හතරක සාධක දක්වයි.

හිස අත් පා නොමැත. හිස සහ අත් පා වෙන ම කොටස් වශයෙන් තනා තිබෙන්නට ඇති බව පෙනේ. මෙම කොටස් සවිකිරීම සඳහා සිදුරු භාවිත කොට ඇති බව දැකිය හැකි ය.

අළු වැලි ගලින් කළ කවන්ධ මිනිස් රුව

 

හරප්පාවෙන් හමුවන මෙම කවන්ධ මිනිස් රුව පූර්ණ


උන්නත ශිල්ප ක්‍රමයට අළු වැලි ගලින් නිර්මාණය කර ඇත. උස සෙ.මී. 10 කි. වම් කකුල ඉහළට ඔසවාගෙන සිටින නර්තන විලාශයක් පෙන්නුම් කෙරේ.

මෙයින් ශිව දෙවියන්ගේ එක් වේෂයක් වන නටරාජ නර්තන ස්වරූපය පෙන්නුම් කරන බව විචාරක අදහසයි.

ග්‍රීක, රෝම, සම්භවය මූර්ති නිර්මාණවල දක්නට ලැබෙන ස්වභාවික තාත්වික ලක්ෂණ මෙම
කවන්ධ රූපයෙන් ප්‍රකට  කෙරේ.

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ මූද්‍රා


ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ආශ්‍රිතව මුද්‍රා 2000 කට අධික සංඛ්‍යාවක් හමු වී ඇත. වෙළෙඳ භාණ්ඩවල ඇසුරුම් සලකුණු වශයෙන් යෙදීමට මෙම මුද්‍රා භාවිත කළ බව අනුමාන කරයි. මෙම මුද්‍රා දිගටි, අටපට්ටම් හා සතරැස් ආදී හැඩවලින් යුක්ත වේ.

මෙම මුද්‍රා මත රූපවලට අමතරව අක්ෂර දක්නට ඇති අතර මේ අක්ෂර මේ වන තෙක් කියවීමට හඳුනාගෙන ඇත. මුද්‍රා මගින් ඉන්දු නිම්න වැසියන්ගේ ආගමික ඇදහිලි, විශ්වාස පිලබිඹු කරන අතර ඔවුන්ගේ ජිවන විලාසය, සංස්කෘතික ලක්ෂණ කලා කෞෂල්‍යය හා තාක්ෂණික හැකියාව පිළිබඳ තොරතුරු අනාවරණය වේ.

මොල්ලිය සහිත ගව රූපය


ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ ගව රූප සහිත මුද්‍රා විසි පහකටත් වැඩි ප්‍රමාණය අතරින් කලාත්මක ප්‍රකාශනයක් සහිත මුද්‍රාවකි. මෙහි ගවයාගේ ගති ස්වභාවය ඉතාමත් තාත්වික ලෙස
නිරූපණය කර තිබේ. පාර්ශවදර්ශී ස්වරූපයෙන් යුතු ගව රූපයේ ශරීරාංග තුළින් ශක්තිය, තේජස හා ජව සම්පන්න බව හොඳින් ඉස්මතු වී පෙනේ. ශිව දෙවියන්ගේ වාහනය වූ නන්දි ගවයා මින් සංකේතවත් කරන බව අදහස් කෙරේ.

බෙල්ලේ රැළි ශෛලීගත රටාවෙන් නිරූපණය කර ඇත. ගෙල වටා දමා ඇති තැල්ල මගින් මෙම මුද්‍රාව විසිතුරු වී ඇත. ඇතැම් මුද්‍රාවල ගව රූප අභියස සුවඳ දුම්, වැනි වස්තු දක්නට තිබූ නිසා මෙම ගව රූප අති පූජනීය වස්තු ලෙස සලකා පුද පූජා තබන්නට ඇතැයි සිතිය හැකි ය.

මෙම මුද්‍රාවට අමතරව එක් අඟක් සහිත ගවයා, කොට අං සහිත ගව රූප ආදී ගව සංකේත සහිත මුද්‍රා විශාල සංඛ්‍යාවක් හමු වී ඇති බවට වාර්තා වේ. 

පශුපති (ශිව) 



මෙම මුද්‍රාව අං සහිත දෙවියා ලෙස හඳුන්වයි. ඔහුගේ හිස මත අං යුගලක් සහිත ශිර්ෂාභරණයකි. එමෙන් ම ගෙළ හා දෙඅත් වස්ත්‍රාභරණවලින් සරසා ඇත. 

ආසනයට පහළින් මුවෝ දෙදෙනෙකි. එසේම දේව රූපය වටා රයිනෝ, වෘෂභ, හස්ති සහ කොටි රූප දැකගත හැකි ය. මෙම මුද්‍රාවෙන් නිරූපිත දෙවියන් ශිවගේ මූලාදර්ශයක් බව සර් ජෝන් මාෂල් මහතා පවසා ඇත. එනම් ශිවගේ එක් වේශයක් වන පශුපති (කෘෂි කර්මාන්තයට
අධිපති) මින් නිරූපිත බවයි. 

දේවරූපය ඉදිරි පෙනුමෙන් යුතු වන අතර සෙසු සියලු සත්ව රූප පාර්ශවදර්ශී ස්වරූපයෙන් දක්වා ඇත.












දඹුලු ගලේ රූ වරුණා



















”පෙරියතම්බි සුබ්‍රමණියම් කලාකරුවාගේ නිර්මාණ අගයමු”

වර්ෂ 1920.09.21 දින යාපනය, නල්ලූර්හි උපත ලබමින් වර්ෂ 2006 මාර්තු 15 දින අප අතරින් සමුගත් පෙරියතම්බි සුබ්‍රමණියම් දෙමළ ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වු විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකි.

දෙමළ ජනතාවගේ එදිනෙදා ජිවිත අවශ්‍යතාවන් සමග බැඳි අභිලාෂයන් ඉටු කළ චිත්‍ර ශිල්පියකු ලෙස පෙරියතම්බි සුබ්‍රමණියම් චිත්‍ර ශිල්පියාගේ නිර්මාණවලට සුවිශේෂී ස්ථානයක් හිමි වේ.

ඔහු යාපනයේ ජීවත් වෙමින් ස්ව උත්සහයෙන් චිත්‍ර කලාව හැදෑරූ ශිල්පියෙකි. ඉන්දියානු කලාකරු රවි වර්මාගේ පුරාණ ඓතිහාසික සිද්ධි නිරූපිත සිතුවම්වල ශෛලිය ලක්ෂණ පෙ. සුබ්‍රමණියම්ගේ සිතුවම් සඳහා ද ආභාස වී ඇත. 

රවි වර්මාගේ සිතුවම්වල ශෛලිය සඳහා ඉන්දීය ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රකාශිත මාධ්‍ය වන චිත්‍රපට, කැලැන්ඩර් හා පෝස්ටර් චිත්‍ර ආදිය තුළින් නිරූපිත දේව රූප ලක්ෂණ පෙන්වන අතර එකී ලක්ෂණ පෙ. සුබ්‍රමණියම් ශිල්පියාගේ සිතුවම් ආශ්‍රිතව හඳුනාගත හැකි ය.

රවි වර්මාගේ චිත්‍රවල දක්නට ලැබෙන දෘෂ්ටි මායා (Illusion optical)ප්‍රකාශන ශිල්ප ක්‍රමය පෙ. සුබ්‍රමණියම්ගේ නිර්මාණ සඳහා අනුගමනය කර ඇත. 

කෝවිල් බිත්ති චිත්‍රවලට අමතරව ඔහු තිර රෙදි චිත්‍ර නිර්මාණය කිරීම, විශාල ප්‍රමාණයේ බැනර් හා කට්ඔවුට් (Cutout) චිත්‍ර නිර්මාණය කිරීම සඳහා දායක වූ ශිල්පියෙක් ද වෙයි.

පෙරියතම්බි සුබ්‍රමණියම් ශිල්පියාගේ සිතුවම්  පහත සඳහන් කොවිල්වල බිත්ති මත හා තිර රෙදිවල දක්නට ලැබේ.

  • නල්ලූර් කෛලාසපිල්ලෙයාර් කෝවිල
  • ඉනුවිල් පරරාසසේකර පිල්ලෙයාර් කෝවිල
  • සුදුමලයි අම්මන් කෝවිල
  • වැල්වෙට්ටිත්තුරෙයි සිවන් කෝවිල
  • නල්ලූර් වීර කාලි අම්මන් කෝවිල
  • වේලණෙයි අම්මන් කෝවිල


 


■ පෙ. සුබ්‍රමණියම්ගේ නිර්මාණ කළ සිතුවම් අතර සුවිශේෂී සිත්තමක් වන අගස්තියර් හා විනායගර් නම් සිතුවම ඉනුවිල් පරරාසසේකර පිල්ලෙයාර් කෝවිලෙ හි දැකිය හැකි ය.

■ මෙම නිර්මාණයෙන් අගස්තියර්ගේ කෙණ්ඩියට කපුටු වෙසින් පැමිණි විනායගර් තට්ටු කළ නිසා හටගත් කාවේරී නදියයේ කතා පුවත අවස්ථා තුනකින් යුතුව නිරූපණය කර ඇත.

■ හුණු බිත්තිය මත තලය සකස් කිරීමකින් තොරව එනමල් වර්ණ යොදා මෙම සිතුවම නිර්මාණය කර ඇත. ස්වභාවික ප්‍රමාණයට නිර්මාණය වී ඇති මෙම සිතුවම ඉතා ආකර්ෂණීය ලෙස භාවිත කරන වර්ණ විවිධ තානය (tone) යොදාගනිමින් ත්‍රිමාන ලක්ෂණවලින් යුතුව භාවිත කර ඇත. රූප, ත්‍රිමාන ලක්ෂණ සහිත වර්ණවල තානය (Colour tone) මගින් ගොඩනංවා ඇති හෙයින් රූප වටා පැහැදිලි රේඛාකරණයක් දක්නට නොලැබේ. පර්යාලෝකනය ලක්ෂණ දක්වා ඇති අතර පෙර බිමේ ඇති රූපවල ක්‍රියාකාරකම්වලට උචිත පරිදි හා ඒවා එක් එක් තීව්‍ර කරන ආකාරයට පසුබිමේ දර්ශන දක්වා ඇත.

කොටස් තුනකින් යුත් මෙම සිතුවමෙහි එක් එක් කොටසින් එකිනෙකට 
වෙනස් හැඟීම් ප්‍රකාශන දක්වයි. 

ඒ අනුව
පළමුවන කොටසින් - කපුටා පලවාහරින අගස්තියර්

දෙවෙනි කොටසින් - දරුවකු බවට පත් වූ විනායගර්ව අගස්නියර් විසින් පළවාහැරීම දක්වයි. මෙහි දී දරුවා සමච්චල් කරන ආකාරය හා අගස්තියර් කෝප වී සිටින ආකාරය ද නිරූපණය කර ඇත.

තුන්වන කොටසින් - පැමිණියේ විනායගර් බව හැඟුණු බැවින් යටපත් පහත් ලෙස විනායගර්ට අගස්තියර් වඳින අයුරු නිරූපණය කර ඇත

මෙම සිද්ධි දර්ශනවල පිළිවෙළ තුළින් අගස්තියර්ගේ භක්තිය මැනැවින් නිරූපණය කර ඇත.





■ පෙ. සුබ්‍රමණියම් චිත්‍ර ශිල්පියාගේ තවත් සුවිශේෂී නිර්මාණයක් වන ඇතා වල්ලිව එළවාගෙන යාම නැමති සිතුවම ඉනුවල් පරරාසසේකර පිල්ලෙයාර් කොවිලෙ හි දක්නට ලැබේ.

■ ඇත් වෙසින් පැමිණි විනායගර්, වල්ලි එලවාගෙන යනු ලබන අතර වල්ලි, තාපස වෙසින් පැමිණි මුරුගන්ගෙන් පිළිසරණ ලැබීම මෙම සිතුවමෙන් නිරූපිතය.

■ වර්ණ තානය (Colour tone) විවිධත්වය මගින් ත්‍රිමාන ලක්ෂණ හා පර්යාලෝක ලක්ෂණ දක්වා ඇත.

■ බිත්තියෙහි තලය සකස් කිරීමකින් තොරව එනමල් වර්ණයෙන් සිතුවම් කර ඇත.

■ මෙම සිතුවමින් ඇතා ලෙස පැමිණියේ විනායගර් බව සංකේතාත්මක ව දක්වා ඇත.

■ වර්ණ ද සංකේතාත්මක ව යොදාගෙන ඇති අතර ඉතා දීප්තිමත් වර්ණ යොදාගෙන ඇත.

■ ආලෝකය හා අඳුර යොදා ගනිමින් රූපවල සීමා රේඛාකරණයෙන් තොරව දක්වා ඇත

■ විනායගර් සහ ඇතා එක් කොටසක ද වල්ලි සහ තාපසයා තවත් කොටසක් ලෙසින් ද සිද්ධි දෙක ම එක තලයක සමෝධානය කරන ආකාරයට භූ දර්ශනය යොදා ඇත.

■ ඇතාගේ භයානක ස්වරූපය හා වල්ලිගේ බිය මුසු හැඟීම් නිරූපණය කෙරෙන මෙම නිර්මාණයෙන් ත්‍රාසය හා බියමුසු හැඟීම් මැනැවින් ප්‍රකාශ කරන්නක් වෙයි.

















■   තාවඩි මු. තුරෙයිසාමි 19 වන සියවස අගභාගයේ යාපනයේ තාවඩි ප්‍රදේශයේ ජීවත් වූ චිත්‍ර ශිල්පියෙකි.

■ මොහු දකුණු ඉන්දීය තන්ජාවූර් (Thanjavur)  සිතුවම්වල ශිල්පක්‍රම නිර්මාණ සඳහා භාවිත කර ඇත.

■ එමෙන් ම යුරෝපා යථාර්ථවාදය (Realism) හා පෙරදිග සිතුවම් ලක්ෂණ සම්මිශ්‍රණයක් මොහුගේ සිතුවම්වල කැපී පෙනේ.

■ යාපනයේ නල්ලූර් හි සට්ටනාදර් ශිව දේවාලයේ ඇති බිතු සිතුවම් අතර සුදු අත් ඇති පූජක රුව (ඵෙයර්), ගණපති රූපය, සුදු කුකුළාගේ රූපය, හා සැරසිලි මොහුගේ විශිෂ්ට නිර්මාණ වේ.


■ මෙම සිතුවම්වල ස්වභාවික වර්ණ භාවිතයත් පෙරදිග සම්ප්‍රදාය අනුගමනය කරමින් ලා වර්ණ ව්‍යාප්තියක් හඳුනාගත හැකි ය.

■ විශේෂයෙන් ළා දුඹුරු වර්ණ මාලාවක් මෙම සිතුවම්වල දැක ගත හැකි ය. හුණු බදාම මත ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට බිතු සිතුවම් නිමවා ඇත.

■ තාවඩි මු. තුරෙයිසාමි ශිල්පියා තාවඩි මුරුගන් මූර්ති කෝවිලේ ද සිතුවම් නිර්මාණය කර ඇත. මෙම දේවාලයේ ඇති සිතුවම් අතර කිරි කාවඩි කරුවා, වල්ලි දෙවඟන බිහිකළ මුව දෙන, වශිෂ්ටර් හා කාරාම් පශු, කතරගම දෙවියන් මහලු බමුණකුගේ වෙස් ගෙන අලියාගෙන් වල්ලි දෙවඟන බේරීම, වැදි රුපය ආදිය වැදගත් නිර්මාණ ලෙස සැලකේ.

■ ඔහුගේ චිත්‍ර නිර්මාණ කන්කසන්තුරේ වරායට අයත් ගබඩා කාමරවල හා පෞද්ගලික නිවාසවල තිබී අති අතර අද මේවා දක්නට නොලැබේ.



  • තාවඩි මු. තුරෙයිසාමි ශිල්පියා විසින් නිර්මාණය කරන සුදු කුකුළා නැමති සිතුවම සට්ටනාදර් ශිව දේවාලයේ දැකිය හැකි වේ.
  • යුරෝපීය යථාර්ථවාදී සිතුවම් ආභාසය මෙම සිතුවමේ පැහැදිලිව හඳුනාගත හැකි ය.
  • ගම්භීර පෙනුමක් සහිත ව කුකුළාගේ චලනය ඉතා තාත්වික ව දක්වා ඇත.
  • ලා පැහැයට හුරු දුඹුරු වර්ණ මාලාවක් සිතුවම පුරා දක්නට ලැබේ.
  • වියළි බදාමය මත සිතුවම් නිර්මාණය කිරීමේ ශිල්ප ක්‍රමය වන ප්‍රෙස්කෝ සිකෝ ක්‍රමයට සිතුවම නිර්මාණය කර ඇත.



  • සට්ටනාදර් ශිව දේවාලයේ දැකිය හැකි මෙම සිතුවමින් සුදු අත් සහිත පූජකයකු ගණපතිට පූජා පවත්වන ආකාරය නිරූපණය කර තිබේ.
  • ලා දුඹුරු වර්ණ සමඟ ළා වර්ණ සිතුවම සඳහා භාවිත කර ඇත.
  • දකුණු ඉන්දීය තන්ජාවූර් සිතුවම්වල ආභාසයත් යුරෝපා යථාර්ථවාදී සිතුවම්වල ආභාසයත් මෙම සිතුවම් නිර්මාණ සඳහා පදනම් වී ඇත.
  • පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය සහ අලංකාර තොරණක් සහිත ගණපති රූපය මෙම සිතුවමේ දැක ගත හැකි ය.
  • පහන් පූජාවේ නියැළෙන සුදු අත් සහිත පුජක රුව පෙරදිග සාම්ප්‍රදායික ලක්‍ෂණවලින් ඇඳ ඇත.
  • සිතුවමේ පසුබිම ළා පැහැයෙන් යුතු වර්ණ ගන්වා ඇත.
  • ස්වාභාවිකව සකස් කර ගත් වර්ණ භාවිතයෙන් වියළි හුණු බදාමය මත සිතුවම (ප්‍රෙස්කෝ සිකෝ ක්‍රමයට) නිර්මාණය කර ඇත.