”පෙරියතම්බි සුබ්‍රමණියම් කලාකරුවාගේ නිර්මාණ අගයමු”

වර්ෂ 1920.09.21 දින යාපනය, නල්ලූර්හි උපත ලබමින් වර්ෂ 2006 මාර්තු 15 දින අප අතරින් සමුගත් පෙරියතම්බි සුබ්‍රමණියම් දෙමළ ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වු විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකි.

දෙමළ ජනතාවගේ එදිනෙදා ජිවිත අවශ්‍යතාවන් සමග බැඳි අභිලාෂයන් ඉටු කළ චිත්‍ර ශිල්පියකු ලෙස පෙරියතම්බි සුබ්‍රමණියම් චිත්‍ර ශිල්පියාගේ නිර්මාණවලට සුවිශේෂී ස්ථානයක් හිමි වේ.

ඔහු යාපනයේ ජීවත් වෙමින් ස්ව උත්සහයෙන් චිත්‍ර කලාව හැදෑරූ ශිල්පියෙකි. ඉන්දියානු කලාකරු රවි වර්මාගේ පුරාණ ඓතිහාසික සිද්ධි නිරූපිත සිතුවම්වල ශෛලිය ලක්ෂණ පෙ. සුබ්‍රමණියම්ගේ සිතුවම් සඳහා ද ආභාස වී ඇත. 

රවි වර්මාගේ සිතුවම්වල ශෛලිය සඳහා ඉන්දීය ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රකාශිත මාධ්‍ය වන චිත්‍රපට, කැලැන්ඩර් හා පෝස්ටර් චිත්‍ර ආදිය තුළින් නිරූපිත දේව රූප ලක්ෂණ පෙන්වන අතර එකී ලක්ෂණ පෙ. සුබ්‍රමණියම් ශිල්පියාගේ සිතුවම් ආශ්‍රිතව හඳුනාගත හැකි ය.

රවි වර්මාගේ චිත්‍රවල දක්නට ලැබෙන දෘෂ්ටි මායා (Illusion optical)ප්‍රකාශන ශිල්ප ක්‍රමය පෙ. සුබ්‍රමණියම්ගේ නිර්මාණ සඳහා අනුගමනය කර ඇත. 

කෝවිල් බිත්ති චිත්‍රවලට අමතරව ඔහු තිර රෙදි චිත්‍ර නිර්මාණය කිරීම, විශාල ප්‍රමාණයේ බැනර් හා කට්ඔවුට් (Cutout) චිත්‍ර නිර්මාණය කිරීම සඳහා දායක වූ ශිල්පියෙක් ද වෙයි.

පෙරියතම්බි සුබ්‍රමණියම් ශිල්පියාගේ සිතුවම්  පහත සඳහන් කොවිල්වල බිත්ති මත හා තිර රෙදිවල දක්නට ලැබේ.

  • නල්ලූර් කෛලාසපිල්ලෙයාර් කෝවිල
  • ඉනුවිල් පරරාසසේකර පිල්ලෙයාර් කෝවිල
  • සුදුමලයි අම්මන් කෝවිල
  • වැල්වෙට්ටිත්තුරෙයි සිවන් කෝවිල
  • නල්ලූර් වීර කාලි අම්මන් කෝවිල
  • වේලණෙයි අම්මන් කෝවිල


 


■ පෙ. සුබ්‍රමණියම්ගේ නිර්මාණ කළ සිතුවම් අතර සුවිශේෂී සිත්තමක් වන අගස්තියර් හා විනායගර් නම් සිතුවම ඉනුවිල් පරරාසසේකර පිල්ලෙයාර් කෝවිලෙ හි දැකිය හැකි ය.

■ මෙම නිර්මාණයෙන් අගස්තියර්ගේ කෙණ්ඩියට කපුටු වෙසින් පැමිණි විනායගර් තට්ටු කළ නිසා හටගත් කාවේරී නදියයේ කතා පුවත අවස්ථා තුනකින් යුතුව නිරූපණය කර ඇත.

■ හුණු බිත්තිය මත තලය සකස් කිරීමකින් තොරව එනමල් වර්ණ යොදා මෙම සිතුවම නිර්මාණය කර ඇත. ස්වභාවික ප්‍රමාණයට නිර්මාණය වී ඇති මෙම සිතුවම ඉතා ආකර්ෂණීය ලෙස භාවිත කරන වර්ණ විවිධ තානය (tone) යොදාගනිමින් ත්‍රිමාන ලක්ෂණවලින් යුතුව භාවිත කර ඇත. රූප, ත්‍රිමාන ලක්ෂණ සහිත වර්ණවල තානය (Colour tone) මගින් ගොඩනංවා ඇති හෙයින් රූප වටා පැහැදිලි රේඛාකරණයක් දක්නට නොලැබේ. පර්යාලෝකනය ලක්ෂණ දක්වා ඇති අතර පෙර බිමේ ඇති රූපවල ක්‍රියාකාරකම්වලට උචිත පරිදි හා ඒවා එක් එක් තීව්‍ර කරන ආකාරයට පසුබිමේ දර්ශන දක්වා ඇත.

කොටස් තුනකින් යුත් මෙම සිතුවමෙහි එක් එක් කොටසින් එකිනෙකට 
වෙනස් හැඟීම් ප්‍රකාශන දක්වයි. 

ඒ අනුව
පළමුවන කොටසින් - කපුටා පලවාහරින අගස්තියර්

දෙවෙනි කොටසින් - දරුවකු බවට පත් වූ විනායගර්ව අගස්නියර් විසින් පළවාහැරීම දක්වයි. මෙහි දී දරුවා සමච්චල් කරන ආකාරය හා අගස්තියර් කෝප වී සිටින ආකාරය ද නිරූපණය කර ඇත.

තුන්වන කොටසින් - පැමිණියේ විනායගර් බව හැඟුණු බැවින් යටපත් පහත් ලෙස විනායගර්ට අගස්තියර් වඳින අයුරු නිරූපණය කර ඇත

මෙම සිද්ධි දර්ශනවල පිළිවෙළ තුළින් අගස්තියර්ගේ භක්තිය මැනැවින් නිරූපණය කර ඇත.





■ පෙ. සුබ්‍රමණියම් චිත්‍ර ශිල්පියාගේ තවත් සුවිශේෂී නිර්මාණයක් වන ඇතා වල්ලිව එළවාගෙන යාම නැමති සිතුවම ඉනුවල් පරරාසසේකර පිල්ලෙයාර් කොවිලෙ හි දක්නට ලැබේ.

■ ඇත් වෙසින් පැමිණි විනායගර්, වල්ලි එලවාගෙන යනු ලබන අතර වල්ලි, තාපස වෙසින් පැමිණි මුරුගන්ගෙන් පිළිසරණ ලැබීම මෙම සිතුවමෙන් නිරූපිතය.

■ වර්ණ තානය (Colour tone) විවිධත්වය මගින් ත්‍රිමාන ලක්ෂණ හා පර්යාලෝක ලක්ෂණ දක්වා ඇත.

■ බිත්තියෙහි තලය සකස් කිරීමකින් තොරව එනමල් වර්ණයෙන් සිතුවම් කර ඇත.

■ මෙම සිතුවමින් ඇතා ලෙස පැමිණියේ විනායගර් බව සංකේතාත්මක ව දක්වා ඇත.

■ වර්ණ ද සංකේතාත්මක ව යොදාගෙන ඇති අතර ඉතා දීප්තිමත් වර්ණ යොදාගෙන ඇත.

■ ආලෝකය හා අඳුර යොදා ගනිමින් රූපවල සීමා රේඛාකරණයෙන් තොරව දක්වා ඇත

■ විනායගර් සහ ඇතා එක් කොටසක ද වල්ලි සහ තාපසයා තවත් කොටසක් ලෙසින් ද සිද්ධි දෙක ම එක තලයක සමෝධානය කරන ආකාරයට භූ දර්ශනය යොදා ඇත.

■ ඇතාගේ භයානක ස්වරූපය හා වල්ලිගේ බිය මුසු හැඟීම් නිරූපණය කෙරෙන මෙම නිර්මාණයෙන් ත්‍රාසය හා බියමුසු හැඟීම් මැනැවින් ප්‍රකාශ කරන්නක් වෙයි.
















No comments:

Post a Comment